တေလကဋာဟဂါထာ
තෙලකටාහගාථා
နမော တဿ ဘဂဝတော အရဟတော သမ္မာသမ္ဗုဒ္ဓဿ
ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
၁.
1.
လံကိဿရော ဇယတု ဝါရဏရာဇဂါမီဘောဂိန္ဒဘောဂ ရုစိရာယတ ပီဏ ဗာဟု,သာဓုပစာရနိရတော ဂုဏသန္နိဝါသောဓမ္မေ ဌိတော ဝီဂတကောဓမဒါဝလေပေါ;
හස්ති රාජයෙකු මෙන් ගමන් ඇති, නාග රාජයෙකුගේ ශරීරය බඳු වූ රමණීය වූ ද දිගු වූ ද පිරුණු බාහු ඇති, සත්පුරුෂ ආචාර ධර්මයන්හි නිරත වූ, ගුණාංගයන්ට නිවහනක් වූ, ධර්මයෙහි පිහිටි, කෝපය, මදය හා මානය දුරු කළ ලංකේෂ්වරයාණෝ ජය ගනිත්වා!
၂.
2.
ယော သဗ္ဗလောကမဟိတော ကရုဏာဓိဝါသောမောက္ခာကရော ရဝိကုလမ္ဗရ ပုဏ္ဏ စန္ဒော,ဉေယျောဒဓိံ သုဝိပုလံ သကလံ ဝိဗုဒ္ဓေါလောကုတ္တမံ နမထ တံ သိရသာ မုနိန္ဒံ;
මුළු ලොවටම පූජනීය වූ, මහා කරුණාවට නිවහනක් වූ, මෝක්ෂයට ආකරයක් වූ, සූර්ය වංශය නමැති අහසෙහි පුණ්ණ චන්ද්‍රයා බඳු වූ, අතිවිශාල වූ මුළු නෙය්‍ය සාගරයම අවබෝධ කළා වූ, ලෝකෝත්තර වූ ඒ මුනින්ද්‍රයන් වහන්සේට ඔබගේ හිසින් නමස්කාර කරව්.
၃.
3.
သောပါနမာလမမလံ တိဒသာလယဿသံသာရ သာဂရသမုတ္တရဏာယ သေတုံ,သဗ္ဗာဂတီဘယ ဝိဝဇ္ဇိတ ခေမ မဂ္ဂံဓမ္မံ နမဿထ သဒါ မုနိနာ ပဏီတံ;
තව්තිසා භවනට පිරිසිදු තරප්පු පෙළක් බඳු වූ, සංසාර සාගරයෙන් එතෙර වීම පිණිස පාලමක් බඳු වූ, සියලු දුර්ගති භයින් තොර වූ, ක්ෂේම භූමියට මඟ වූ, මුනිවරයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්මයට සැමදා නමස්කාර කරව්.
၄.
4.
ဒေယျံ တဒပ္ပမပိ ယတ္ထ ပသန္န စိတ္တာဒတွာ နရာ ဖလမုဠာရတရံ လဘန္တေ,တံ သဗ္ဗဒါ ဒသဗလေနပိ သုပ္ပသတ္ထံသံဃံ နမဿထ သဒါမိတပုညခေတ္တံ;
පහන් වූ සිතින් යුතුව යම් සඟ පිරිසක් කෙරෙහි ඉතා ස්වල්ප වූ ද දෙයක් පූජා කොට මිනිසුන් මහත් වූ ආනිශංස ලබන්නේ ද, දස බලධාරී බුදුරජාණන් වහන්සේ විසින් පවා සැම කල්හිම මැනවින් පසසන ලද්දා වූ, අප්‍රමාණ පුණ්‍ය ක්ෂේත්‍රයක් වූ ඒ මහා සංඝරත්නයට සැමදා නමස්කාර කරව්.
၅.
5.
တေဇော ဗလေန မဟတာ ရတနတ္တယဿလောကတ္တယံ သမဓိဂစ္ဆတိ ယေန မောက္ခံ,ရက္ခာ န စတ္ထိ စ သမာ ရတနတ္တယဿတသ္မာ သဒါ ဘဇထ တံ ရတနတ္တယံ ဘော;
ත්‍රිවිධ රත්නයේ උතුම් තේජස් බලයෙන් තුන් ලෝකයම නිවන සාක්ෂාත් කර ගන්නේය. තෙරුවන් හා සමාන වූ වෙනත් ආරක්ෂාවක් ලොව නැත. එබැවින් පින්වත්නි, සැමදා ඒ උතුම් තෙරුවන් සරණ යව්.
၆.
6.
လံကိဿရော ပရဟိတေကရတော နိရာသောရတ္တိမ္ပိ ဇာဂရရတော ကရုဏာဓိဝါသော,လောကံ ဝိဗောဓယတိ လောကဟိတာယ ကာမံဓမ္မံ သမာစရထ ဇာဂရိယာနုယုတ္တာ;
පරාර්ථ සේවයෙහිම නිරත වූ, තෘෂ්ණාවෙන් තොර වූ, රාත්‍රියෙහි ද නිදි නොලබා අවදිව වෙසෙන, මහා කරුණාවෙන් පිරි ලංකාධිපති රජතුමා ලෝකයාගේ යහපත පිණිස ලෝකය අවදි කරවයි. එබැවින් අවදි බවින් යුක්තව සැමවිටම ධර්මයෙහි හැසිරෙව්.
၇.
7.
သတ္တောပကာရ နိရတာ ကုသလေ သဟာယာဘော ဒုလ္လဘာ ဘုဝိ နရာ ဝိဟတပ္ပမာဒါ,လံကာဓိပံ ဂုဏဓနံ ကုသလေ သဟာယံအာဂမ္မ သံစရထ ဓမ္မမလံ ပမာဒံ;
පින්වත්නි, සත්වයන්ට උපකාර කිරීමෙහි නිරත වූ, කුසල් දහම්හි කල්‍යාණ මිත්‍රයන් වූ, ප්‍රමාදයෙන් තොර වූ මිනිසුන් මෙලොව ඉතා දුර්ලභය. ගුණ නැමැති ධනයෙන් පිරි, කුසල් ක්‍රියාවලදී මිත්‍රයෙකු බඳු වූ ලංකාධිපති රජතුමා ඇසුරු කොටගෙන, ප්‍රමාදය දුරු කොට ධර්මයෙහි හැසිරෙව්.
၈.
8.
ဓမ္မော တိလောက သရဏော ပရမော ရသာနံဓမ္မော မဟဂ္ဃရတနော ရတနေသု လောကေ,ဓမ္မော ဘဝေ တိဘဝဒုက္ခ ဝိနာသဟေတုဓမ္မံ သမာစရထ ဇာဂရိယာနုယုတ္တာ;
ධර්මය තුන් ලොවටම සරණ වන්නේය, රසයන් අතර උත්තරීතර රසය වන්නේය. ලොව ඇති සියලු රත්නයන් අතර ධර්මය අතිශය වටිනා රත්නයයි. ධර්මය තුන් භවයේම දුක විනාශ කිරීමට හේතුව වන්නේය. එබැවින් අවදි බවින් යුතුව සැමවිටම ධර්මයෙහි හැසිරෙව්.
၉.
9.
နိဒ္ဒံ ဝိနောဒယထ ဘာဝယထပ္ပမေယျံဒုက္ခံ အနိစ္စမ္ပိ စေဟ အနတ္တတဉ္စ,ဒေဟေ ရတိံ ဇဟထ ဇ ဇဇ္ဇရဘာဇနာဘောဓမ္မံ သမာစရထ ဇာဂရိယာနုယုတ္တာ;
නිදිබර ගතිය දුරු කරව්. මෙලොව දුක්ඛ, අනිච්ච සහ අනත්ත යන ත්‍රිලක්ෂණය අප්‍රමාණව මෙනෙහි කරව්. දිරාපත් වන මැටි බඳුනක් බඳු වූ මේ ශරීරය කෙරෙහි ඇති ඇල්ම අත්හරින්න. අවදි බවින් යුක්තව සැමවිටම ධර්මයෙහි හැසිරෙව්.
၁၀.
10.
ဩကာသ မဇ္ဇ မမ နတ္ထိ သုဝေ ကရိဿံဓမ္မံ ဣတီဟလသတာ ကုသလပ္ပယောဂေ,နာ’လံ တိယဒ္ဓသု တထာ ဘုဝနတ္တယေ စကာမံ န စတ္ထိ မနုဇော မရဏာ ပမုတ္တော;
"අද මට වේලාවක් නැත, හෙට මම ධර්මයෙහි හැසිරෙන්නෙමි" යි කුසල් දහම්හි යෙදීමේදී ඇති කරගන්නා වූ මෙවැනි අලසකම තුන් කාලයටම හෝ තුන් ලෝකයටම සුදුසු නොවේ. මරණයෙන් මිදුණු කිසිම මිනිසෙක් සැබවින්ම මෙලොව නැත.
၁၁.
11.
ခိတ္တော ယထာ နဘသိ ကေနစိဒေဝ လေဍ္ဍုဘူမိံ သမာပတ္တိ ဘာရတယာ ခဏေန,ဇာတတ္တမေဝ ခလု ကာရဏမေကမတြလောကံ သဒါ နနု ဓုဝံ မရဏာယ ဂန္တုံ;
යමෙකු විසින් අහසට දමන ලද පස් කැටයක් තමන්ගේ බර නිසා ක්ෂණයකින් නැවත පොළොවටම වැටෙන්නාක් මෙන්, උපත ලැබීමම එකම හේතුව කොටගෙන මේ ලෝක සත්වයා නිරතුරුවම ඒකාන්තයෙන්ම මරණය කරා ගමන් කරන්නේය.
၁၂.
12.
ကာမံ နရဿ ပတတော ဂိရိမုဒ္ဓနာတောမဇ္ဈေ န ကိဉ္စိ ဘယနိဿရဏာယ ဟေတု,ကာမံ ဝဇန္တိ မရဏံ တိဘဝေသု သတ္တာဘောဂေ ရတိံ ပဇဟထာပိ စ ဇီဝိတေ စ;
පර්වත මුදුනකින් පහළට ඇද වැටෙන මිනිසෙකුට බේරීම සඳහා අතරමඟදී පිහිටක් වන කිසිදු උපක්‍රමයක් නැත්තාක් මෙන්ම, තුන් භවයේ වෙසෙන සත්වයෝ ද ඒකාන්තයෙන්ම මරණයට පත් වෙති. එබැවින් කාම සම්පත් කෙරෙහි ද ජීවිතය කෙරෙහි ද ඇති ඇල්ම අත්හරින්න.
၁၃.
13.
ကာမံ ပတန္တိ မဟိယာ ခလု ဝဿဓာရာဝိဇ္ဇုလ္လတာ ဝိတတမေဃ မုခါ ပမုတ္တာ,ဧဝံ နရာ မရဏဘီမ ပပါတမဇ္ဈေကာမံ ပတန္တိ နဟိ ကောစိ ဘဝေသု နိစ္စော;
විදුලි කෙටීම් සහිතව පැතිරී ගිය වලාකුළුවලින් මිදුණු වැහි දහරාවන් පොළොවට ඇද හැලෙන්නාක් මෙන්ම, මිනිස්සු ද මරණය නමැති භයානක ප්‍රපාතයට ඒකාන්තයෙන්ම ඇද වැටෙති. භවයන්හි නිත්‍ය වූ කිසිවෙක් නැත.
၁၄.
14.
ဝေလာတဋေ ပဋုတရောရု တရံဂမာလာနာသံ ဝဇန္တိ သတတံ သလိလာလယဿ,နာသံ တထာ သမုပယန္တိ နရာမရာနံပါဏာနိ ဒါရုဏတရေ မရဏောဒဓိမှိ;
මහා සාගරයේ වේගවත් වූ ද විශාල වූ ද රළ පෙළ වෙරළේ වැදී නිරතුරුවම විනාශයට පත් වන්නාක් මෙන්, මිනිසුන්ගේ හා දේවියන්ගේ ද ප්‍රාණයෝ අතිශයින්ම දරුණු වූ මරණය නමැති සාගරයෙහි විනාශයට පත් වෙති.
၁၅.
15.
ရုဒ္ဓေါပိ သော ရထဝရဿဂဇာဓိပေဟိယောဓေဟိ စာပိ သဗလေဟိ စ သာယုဓေဟိ,လောကံ ဝိဝံစိယ သဒါ မရဏူသဘော သောကာမံ နိဟန္တိ ဘုဝနတ္တယ သာလိ ဒဏ္ဍံ;
උතුම් රථ, අසුන්, ඇතන් සහ ආයුධ සන්නද්ධ බලවත් සේනාවන් විසින් වැළැක්වූවත්, සැමදා ලෝකය මුලා කරන ඒ මරණය නමැති ගොනා, තුන් ලෝකය නමැති හැල් කෙතේ වී කරල් ඒකාන්තයෙන්ම විනාශ කර දමයි.
၁၆.
16.
ဘော မာရုတေန မဟတာ ဝိဟတော ပဒီပေါခိပ္ပံ ဝိနာသ မုခမေတိ မဟပ္ပဘောပိ,လောကေ တထာ မရဏစဏ္ဍ သမီရဏေနခိပ္ပံ ဝိနဿတိ နရာယုမဟာ ပဒီပေါ;
පින්වත්නි, මහා සුළඟකින් පහර ලබන මහා ආලෝකයක් ඇති පහනක් වුවද ක්ෂණයකින් නිවී යන්නාක් මෙන්, මෙලොව මරණය නමැති චණ්ඩ මාරුතයෙන් මිනිසාගේ ආයුෂ නමැති මහා ප්‍රදීපය ද වහාම විනාශ වී යයි.
၁၇
ရာမဇ္ဇုနပ္ပဘူတိ ဘူပတိ ပုံဂဝါ စသူရာ ပုရေ ရဏမုခေ ဝိဇိတာရိ သံဃာ,တေပီဟ စဏ္ဍ မရဏောဃ နိမုဂ္ဂဒေဟာနာသံ ဂတာ ဇဂတိ ကေ မရဏာ ပမုတ္တာ?
පෙර සටන් පෙරමුණේදී සතුරු සේනාවන් පරාජය කළා වූ රාම, අර්ජුන ආදී ශ්‍රේෂ්ඨ රජවරු ද, වීරයෝ ද මරණය නමැති සැඩ සැඩපහරෙහි ගිලී ගිය ශරීර ඇතිව විනාශයට පත් වූහ. මෙලොව මරණයෙන් මිදුණු කවරෙක් ද?
၁၈.
18.
လက္ခီ စ သာဂရပဋာ သဓရာဓရာ စသမ္ပတ္တိယော စ ဝိဝိဓာ အပိ ရူပသောဘာ,သဗ္ဗာ စ တာ အပိ စ မိတ္တသုတာ စ ဒါရာကေ စာပိ ကံ အနုဂတာ မရဏံ ဝဇန္တံ?
වාසනාව ද, සාගරය වස්ත්‍රය කොටගත් පර්වත සහිත මුළු මහත් පෘථිවිය ද, නේක විධ සම්පත්තීන් ද, රූප සෝභාව ද, ඒ සියල්ල ද, එමෙන්ම මිතුරන්, දරුවන් හා භාර්යාවන් ද යන මෙයින් කවුරු නම් මරණය කරා යන මිනිසෙකු පසුපස යන්නෝ ද?
၁၉.
19.
ဗြဟ္မာသုရာသုရဂဏာ စ မဟာနုဘာဝါဂန္ဓဗ္ဗကိန္နရမဟောရဂရက္ခသာ စ,တေ စာ ပရေ စ မရဏဂ္ဂိသိခါယ သဗ္ဗေအန္တေ ပတန္တိ သလဘာ ဣဝ ခီဏပုညာ;
මහානුභාව සම්පන්න බ්‍රහ්මයෝ ද, සුරයෝ ද, අසුර සමූහයා ද, ගාන්ධර්වයෝ ද, කින්නරයෝ ද, මහා නාගයෝ ද, රාක්ෂසයෝ ද යන මොවුහු සහ සෙසු සියල්ලෝම, පින් ගෙවී ගිය කල්හි, අවසානයේ මරණය නමැති ගිනි දැල්ලට පළඟැටියන් මෙන් ඇද වැටෙති.
၂၀.
20.
ယေ သာရိပုတ္တပမုခါ မုနိသာဝကာ စသုဒ္ဓါ သဒါသဝနုဒါ ပရမိဒ္ဓိပတ္တာ,တေ စာပိ မစ္စုဝဠဘာ မုခ သန္နိမုဂ္ဂါဒီပါနိဝါနလဟတာ ခယတံ ဥပေတာ;
සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රධාන කොට ඇති, පිරිසිදු වූ, කෙලෙස් මල දුරු කළා වූ, උතුම් සෘද්ධිප්‍රාප්ත වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද මරණය නමැති මහා වළි මුඛයෙහි ගිලී, සුළඟින් පහර ලත් පහන් මෙන් ක්ෂය වීමට පත් වූහ.
၂၁.
21.
ဗုဒ္ဓါပိ ဗုဒ္ဓကမလာမလစာရုနေတ္တာဗတ္တိံသလက္ခဏ ဝိရာဇိတ ရူပသောဘာ,သဗ္ဗာသစက္ခယကရာပိ စ လောကနာထာသမ္မဒ္ဒိတာ မရဏမတ္တမဟာဂဇေန;
පිපුණු නෙළුම් මලක් බඳු වූ නිර්මල මනහර නෙත් ඇති, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබළෙන රූප සෝභාවෙන් යුක්ත වූ, සියලු ආශ්‍රවයන් ක්ෂය කළා වූ, ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේලා පවා මරණය නමැති මත් වූ මහා හස්තියා විසින් පොඩි කර දමනු ලබති.
၂၂.
22.
ရောဂါတုရေသု ကရုဏာ န ဇရာတုရေသုခိဍ္ဍာပရေသု သုကုမာရကုမာရကေသု,လောကံ သဒါ ဟနတိ မစ္စု မဟာဂဇိန္ဒောဒဝါနလော ဝနမိဝါဝရတံ အသေသံ;
රෝගීන් කෙරෙහි ද, ජරාවෙන් පෙළෙන්නන් කෙරෙහි ද, ක්‍රීඩාවෙහි නිරත වූ සුකුමාල කුමාරවරුන් කෙරෙහි ද මරණයට කිසිදු කරුණාවක් නැත. වනාන්තරය මුළුමනින්ම විනාශ කරන ලැව්ගින්නක් මෙන්, මරණය නමැති මහා හස්ති රාජයා නිරතුරුවම මුළු ලෝකයම විනාශ කරයි.
၂၃.
23.
အာပုဏ္ဏတာ န သလိလေ န ဇလာသယဿကဋ္ဌဿ စာပိ ဗဟုတာ န ဟုတာသနဿ,ဘုတွာန သော တိဘူဝနမ္ပိ တထာ အသေသံဘော နိဒ္ဒယော န ခလု ပီတိမုပေတိ မစ္စု;
මහා ජලාශයට ජලයෙන් පිරීමක් නැත; ගින්නට දර කොපමණ තිබුණත් ඇතිවීමක් නැත. පින්වත්නි, එමෙන්ම දයාවක් නැති මරණය ද මුළු තුන් ලෝකයම අනුභව කළත් කිසිසේත්ම තෘප්තියකට පත් නොවේ.
၂၄.
24.
ဘော မောဟ မောဟိတတယာ ဝိဝသော အဓညောလောကော ပတတျပိပိ မစ္စုမုခေ သုဘီမေ,ဘောဂေ ရတိံ သမုပယာတိ နိဟီနပညောဒေါလာ တရင်္ဂစပလေ သုပိနောပမေယျေ;
පින්වත්නි, මුළාවෙන් මුළා වූ බැවින් අසරණ වූ ද, අභාග්‍යසම්පන්න වූ ද ලෝක සත්වයා අතිශයින්ම බියකරු වූ මරණයේ මුඛයට ඇද වැටෙයි. එසේ වුවත්, හීන ප්‍රඥා ඇත්තා පැද්දෙන ඔංචිල්ලාවක් මෙන් ද, දිය රළක් මෙන් ද චපල වූ, සිහිනයකට උපමා කළ හැකි කාම සම්පත් කෙරෙහිම ඇල්ම ඇති කරගන්නේය.
၂၅.
25.
ဧကောပိ မစ္စုရဘိဟန္တုမလံ တိလောကံကိံ နိဒ္ဒယာ အပိ ဇရာမရဏာနုယာယီ,ကော ဝါ ကရေယျ ဝိဘသုဝေသု စ ဇီဝိတာသံဇာတော နရော သုပိန သံဂမ သန္နိဘေသု;
එක් මරණයක් වුවද තුන් ලෝකයම විනාශ කිරීමට සමත් වෙයි. එසේ නම්, දයාවක් නැති ජරා මරණ පසුපස ලුහුබඳින, සිහිනයකින් හමුවීමක් බඳු වූ මේ භවයන්හි උපන් කිනම් මිනිසෙක් නම් ජීවිතය කෙරෙහි බලාපොරොත්තු තබා ගන්නේද?
၂၆.
26.
နိစ္စာတုရံ ဇဂဒိဒံ သဘယံ သသောကံဒိသွာ စ ကောဓမဒမောဟဇရာဘိဘူတံ,ဥဗ္ဗေဂမတ္တမပိ ယဿ န ဝိဇ္ဇတီ စေသော ဒါရုဏောန မရဏံ ဝတ တံ ဓိရတ္ထု!ဘော ဘော န ပဿထ ဇရာသိဓရဉှိ မစ္စုမာဟညမာနမခိလံ သတတံ တိလောကံ,ကိံ နိဒ္ဒယာ နယထ ဝီတဘယာ တိယာမံဓမ္မံ သဒါ’သဝနုဒံ စရထ’ပ္ပမတ္တာ;
නිරන්තරයෙන්ම පීඩිත වූ, බිය සහිත වූ, සෝකය සහිත වූ, ක්‍රෝධය, මදය, මෝහය සහ ජරාවෙන් මඬනා ලද මේ ලෝකය දැකලත්, යමෙකුට කිසිදු සංවේගයක් ඇති නොවේ නම්, හේ අතිශයින්ම දරුණු තැනැත්තෙකි. ඒකාන්තයෙන්ම ඔහුට ධික්කාර වේවා! පින්වත්නි, ජරාව නමැති කඩුව අතින් ගත් මරණය, නිරතුරුවම මුළු මහත් තුන් ලෝකයම වනසන අයුරු ඔබ දකින්නේ නැද්ද? කිසිදු බියක් නැතිව දයාවෙන් තොරව රාත්‍රී කාල තුන ගෙවා දමන්නේ කුමකටද? කෙලෙස් දුරු කරන්නා වූ ධර්මයෙහි සැමදා අප්‍රමාදව හැසිරෙව්.
၂၈.
28.
ဘာဝေထ ဘော မရဏမာရဝိဝဇ္ဇနာယလောကေ သဒါ မရဏ သညမိမံ ယတတ္တာ,ဧဝဉှိ ဘာဝနရတဿ နရဿ တဿတဏှာ ပဟီယတိ သရီရဂတာ အသေသာ;
පින්වත්නි, මරණ නමැති මාරයාගෙන් මිදීම පිණිස, සිත පාලනය කරගෙන මෙලොව නිරතුරුවම මරණානුස්සති සංඥාව වඩව්. මෙලෙස භාවනාවෙහි නිරත වන මිනිසාගේ ශරීරය කෙරෙහි පවත්නා වූ සියලු තෘෂ්ණාවන් මුළුමනින්ම නැති වී යන්නේය.
၂၉.
29.
ရူပံ ဇရာ ပိယတရံ မလိနီကရောတိသဗ္ဗံ ဗလံ ဟရတိ အတ္တနိ ဃောရရောဂေါ,နာနူပဘောဂ ပရိရက္ခိတ မတ္တဘာဝံဘော မစ္စု သံဟရတိ ကိံ ဖလမတ္တဘာဝေ?
ජරාව විසින් අතිශයින් ප්‍රිය වූ රූපය කිලිටි කර දමයි; තමා කෙරෙහි ඇති මුළු ශක්තියම දරුණු රෝග විසින් පැහැර ගනු ලබයි. පින්වත්නි, නොයෙක් සම්පත්වලින් ආරක්ෂා කරන ලද මේ ආත්මභාවය මරණය විසින් විනාශ කර දමනු ලබයි. එසේ නම් මේ ආත්මභාවයෙන් ඇති ඵලය කිමෙක්ද?
၃၀.
30.
ကမ္မာနိလာပဟတရောဂတရံဂဘံဂေသံသာရ သာဂရ မုခေ ဝိတတေ ဝိပန္နာ,မာ မာပမာဒမကရိတ္ထ ကရောထ မောက္ခံဒုက္ခောဒယော နနု ပမာဒမယံ နရာနံ;
කර්ම නමැති සුළඟින් හටගත් රෝග නමැති රළ පෙළින් කැළඹුණු, පැතිරී ගිය සංසාර සාගර මුඛයෙහි වැටී විපතට පත් වූවනි, කිසිසේත්ම ප්‍රමාද නොවෙත්වා! නිවන සාක්ෂාත් කරගනිත්වා! මිනිසුන්ගේ ප්‍රමාදය සැබවින්ම දුක උපදවන්නක් නොවේද?
၃၁.
31.
ဘောဂါ စ မိတ္တသုတပေါရိသ ဗန္ဓဝါ စနာရီ စ ဇီဝိတသမာ အပိ ခေတ္တဝတ္ထု,သဗ္ဗာနိ တာနိ ပရလောကမိတော ဝဇန္တံနာနုဗ္ဗဇန္တိ ကုသလာကုသလံဝ လောကေ;
ධන ධාන්‍ය සම්පත් ද, මිතුරෝ ද, පුත්‍රයෝ ද, සේවකයෝ ද, නෑදෑයෝ ද, පණ වැනි බිරිඳ ද, කුඹුරු ඉඩකඩම් ද යන මේ කිසිවක් මෙලොවින් පරලොව යන මිනිසා පසුපස නොයති; යන්නේ මෙලොවදී තමන් විසින් කරන ලද කුසල් සහ අකුසල් පමණි.
၃၂.
32.
ဘော ဝိဇ္ဇုစံစလတရေ ဘဝသာဂရမှိခိတ္တာ ပုရာ ကတမဟာပဝနေန တေန,ကာမံ ဝိဘိဇ္ဇတိ ခဏေန သရီရနာဝါဟတ္ထေ ကရောထ ပရမံ ဂုဏဟတ္ထသာရံ;
පින්වතුනි, විදුලි කෙටීමකටත් වඩා චංචල වූ මේ සංසාර සාගරයෙහි, පෙර කරන ලද (කර්ම නමැති) මහා සුළඟින් ඇද දමනු ලැබූ මේ ශරීර නමැති නෞකාව ඒකාන්තයෙන්ම ක්ෂණයකින් බිඳී යන්නේය. එබැවින් උතුම් වූ ගුණ නමැති අත්සාරය තමන් සතු කර ගන්න.
၃၃.
33.
နိစ္စံ ဝိဘိဇ္ဇတိဟ အာမက ဘာဇနံဝသံရက္ခိတောပိ ဗဟုဓာ ဣဟ အတ္တဘာဝေါ,ဓမ္မံ သမာစရထ သဂ္ဂပတိပ္ပတိဋ္ဌံဓမ္မော သုစိဏ္ဏမိဟမေဝ ဖလံ ဒဒါတိ;
නොයෙක් අයුරින් ආරක්ෂා කළද, මේ ආත්මභාවය (ශරීරය) නොපැහුණු මැටි බඳුනක් මෙන් නිරන්තරයෙන්ම බිඳී යන්නේය. එබැවින් ස්වර්ගයට මඟ පෙන්වන ධර්මයෙහි හැසිරෙන්න. මැනවින් පුරුදු කරන ලද ධර්මය මෙලොවදීම ප්‍රතිඵල ලබා දෙන්නේය.
၃၄.
34.
ရန္တွာ သဒါ ပိယတရေ ဒိဝိ ဒေဝရဇ္ဇေနမှာ စဝန္တိ ဝိဗုဓာ အပိ ခီဏပုညာ,သဗ္ဗံ သုခံ ဒိဝိ ဘုဝီဟ ဝိယောဂနိဋ္ဌံကော ပညဝါ ဘဝသုခေသု ရတိံ ကရေယျ?
ඉතා ප්‍රිය උපදවන දෙව්ලොව දිව්‍ය රාජ්‍යයෙහි හැමදා සතුටින් වැජඹී, පින් ගෙවී ගිය කල්හි ප්‍රඥාවන්ත දෙවියෝ පවා එයින් චුත වෙති. මෙලොව හා දෙලොව ඇති සියලු සැපතෙහි අවසානය වෙන්වීමයි. එසේ තිබියදී කිනම් නුවණැත්තෙක් නම් භව සැපයෙහි ඇලෙන්නේද?
၃၅.
35.
ဗုဒ္ဓေါ သသာဝကဂဏော ဇဂဒေကနာထောတာရာဝလီပရိဝုတောပိ စ ပုဏ္ဏစန္ဒော,ဣန္ဒောပိ ဒေဝမကုဋံကိတ ပါဒကဉ္ဇောကော ဖေဏပိဏ္ဍ-န-သမော တိဘဝေသု ဇာတော?
ශ්‍රාවක සමූහයා පිරිවරා ගත් ලෝකෛකනාථ වූ බුදුරජාණන් වහන්සේද, තාරකා සමූහයා පිරිවරා ගත් පුර පසළොස්වක සඳද, දිව්‍ය මකුටයන්ගෙන් අලංකාර වූ පාද පද්මයන් ඇති ශක්‍ර දේවේන්ද්‍රයාද ඇතුළු මේ තුන් ලොව උපන් කවරෙක් නම් පෙණ පිඬකට සමාන නොවන්නේද?
၃၆.
36.
လီလာဝတံသမပိ ယောဗ္ဗန ရူပသောဘံအတ္တူပမံ ပိယဇနေန စ သမ္ပယောဂံ,ဒိသွာပိ ဝိဇ္ဇုစပလံ ကုရုတေ ပမာဒံဘော မောဟမောဟိတဇနော ဘဝရာဂရတ္တော;
පින්වතුනි, මෝහයෙන් මුළා වූ, භවරාගයෙන් ඇලුනු ජනයා විදුලි කෙටීමක් මෙන් චංචල වූ, ලීලාවෙන් හා විලාසිතාවෙන් යුතු තාරුණ්‍යය හා රූප සෝභාවද, තමා හා සමාන වූ ප්‍රියජනයන් හා එක්වීමද දැක දැකත් තවමත් ප්‍රමාදයට පත්වෙති.
၃၇.
37.
ပုတ္တော ပိတာ ဘဝတိ မာတု ပတီဟ ပုတ္တောနာရီ ကဒါစိ ဇနနီ စ ပိတာ စ ပုတ္တော,ဧဝံ သဒါ ဝိပရိဝတ္တတိ ဇီဝလောကောစိတ္တေ သဒါတိစပလေ ခလု ဇာတိရင်္ဂေ;
මෙලොව පුත්‍රයා පියා බවට පත්වෙයි, මවගේ ස්වාමියා පුත්‍රයා බවට පත්වෙයි, ස්ත්‍රිය ඇතැම් විට මව බවටද පියා පුත්‍රයා බවටද පත්වෙයි. මෙසේ අතිශයින්ම චංචල වූ සිත නමැති උත්පත්ති රංගභූමියෙහි ජීව ලෝකය නිරන්තරයෙන්ම පෙරළෙමින් පවතී.
၃၈.
38.
ရန္တွာ ပုရေ ဝိဝိဓဖုလ္လလတာကုလေဟိဒေဝါပိ နန္ဒနဝနေ သုရသုန္ဒရီဟိ,တေ ဝေ’ကဒါ ဝိတတကဏ္ဋကသံကဋေသုဘော ကောဋိသိမ္ဗလိဝနေသု ဖုသန္တိ ဒုက္ခံ;
පෙර දිනෙක නන්දන වනයෙහි නොයෙක් පිපුණු ලතාවලින් ගැවසී ගත් තන්හි දිව්‍ය අප්සරාවන් සමඟ ප්‍රීති වූ දෙවියෝ පවා, එක් කලෙක විහිදී ගිය කටු සහිත බියකරු කටු ඉඹුල් වනයන්හි ඉපදී මහත් දුක් විඳිති.
၃၉.
39.
ဘုတွာ သုဓန္နမပိ ကဉ္စနဘာဇနေသုသဂ္ဂေ ပုရေ သုရဝရာ ပရမိဒ္ဓိပတ္တာ,တေ စာပိ ပဇ္ဇလိတလောဟဂုလံ ဂိလန္တိကာမံ ကဒါစိ နရကာလယ ဝါသဘူတာ;
දිව්‍ය පුරයෙහි රන් බඳුන්වලින් දිව්‍යමය බොජුන් අනුභව කළා වූ, මහත් සෘද්ධි ඇති උත්තම දෙවියෝ පවා ඇතැම් කලෙක නරකයන්හි උපත ලබා, එහි වාසය කරමින් දැවෙන ලෝහ ගුලි ගිලිති.
၄၀.
40.
ဘုတွာ နရိဿရဝရာ စ မဟိံ အသေသံဒေဝါဓိပါ စ ဒိဝိ ဒိဗ္ဗသုခံ သုရမ္မံ,ဝါသံ ကဒါစိ ခုရသဉ္စိတဘူတလေသုတေ ဝါ မဟာရထဂဏာနုဂတာ ဒိဝီဟ;
මුළු මහත් පොළොවම පාලනය කළ උතුම් මනුෂ්‍ය රාජයන්ද, දිව්‍ය ලෝකයෙහි මහා රථ සමූහයක් පිරිවරා ඉතා රමණීය දිව්‍ය සැප අනුභව කළ දේවේන්ද්‍රයන්ද ඇතැම් විට දැලි පිහිවලින් ගැවසී ගත් බිම් පෙදෙස්වල වාසය කරති.
၄၁.
41.
ဒေဝင်္ဂနာ လလိတဘိန္နတရင်္ဂမာလေရင်္ဂေ မဟိဿရဇဋာမကုဋာနုယာတေ,ရန္တွာ ပုရေ သုရဝရာ ပမဒါသဟာယာတေ စာပိ ဃောရတရဝေတရဏိံ ပတန္တိ;
දිව්‍ය අප්සරාවන් නමැති කාන්තාවන් සමඟ එක්ව, රළ පෙළින් සුසැදි විසිතුරු ක්‍රීඩා මණ්ඩපයන්හි පෙර සතුටු වූ උතුම් දෙවියෝ පවා අතිශයින් බියකරු වූ වෛතරණී නිරයෙහි වැටෙති.
၄၂.
42.
ဖုလ္လာနိ ပလ္လဝလတာဖလသံကုလာနိရမ္မာနိ နန္ဒနဝနာနိ မနောရမာနိ,ဒိဗ္ဗစ္ဆရာလလိတပုဏ္ဏဒရီမုခါနိကေလာသမေရုသိခရာနိ စ ယန္တိ နာသံ;
දලු, ලතා හා ඵලවලින් පිරී ගිය, පිපී බැබළෙන සිත්කළු වූ රමණීය නන්දන වනයන්ද, දිව්‍ය අප්සරාවන්ගේ ලීලාවන්ගෙන් පිරුණු ලෙන් ද්වාරයන්ද, කෛලාශ හා මහා මේරු පර්වත ශිඛරයන්ද විනාශයට පත්වෙති.
၄၃.
43.
ဒေါလာ’နိလာ’နလတရံဂသမာ ဟိ ဘောဂါဝိဇ္ဇုပ္ပဘာတိစပလာနိ စ ဇီဝိတာနိ,မာယာမရီစိဇလသောမသမံ သရီရံကော ဇီဝိတေ စ ဝိဘဝေ စ ကရေယျ ရာဂံ?
සැප සම්පත් වනාහි ඔංචිල්ලාවක්, සුළඟක්, ගින්නක් හා දිය රළක් වැනිය. ජීවිතය වනාහි විදුලි කෙටීමක් මෙන් අතිශයින් චංචල එකකි. ශරීරය වනාහි මායාවක්, මිරිඟුවක්, දියෙහි ඇති සඳක් බඳු වූවකි. මෙසේ තිබියදී ජීවිතය කෙරෙහි හෝ සම්පත් කෙරෙහි කවරෙක් නම් ආශාවක් ඇති කර ගන්නේද?
၄၄.
44.
ကိံ ဒုက္ခမတ္ထိ န ဘဝေသု စ ဒါရုဏေသုသတ္တောပိ တဿ ဝိဝိဓဿ န ဘာဇနော ကော,ဇာတော ယထာ မရဏရောဂဇရာဘိဘူတောကော သဇ္ဇနော ဘဝရတိံ ပိဟယေယျ’ဗာလော?
දරුණු වූ මේ සංසාර භවයන්හි කිනම් දුකක් නම් නැත්ද? නොයෙක් ආකාර වූ ඒ දුක්වලට ගොදුරු නොවන සත්වයෙක් කවරේද? උපන් කල්හි ජරාව, ලෙඩවීම හා මරණයට ගොදුරු වන බැවින්, මෝඩ නොවන කිනම් සත්පුරුෂයෙක් නම් භවයෙහි ඇලීමට කැමති වන්නේද?
၄၅.
45.
ကေ ဝါပိ ပဇ္ဇလိတလောဟဂုလံ ဂိလန္တိသက္ကာ ကထဉ္စိဒပိ ပါဏိတလေန ဘီမံ,ဒုက္ခောဒယံ အသုစိနိဿဝနံ အနန္တံကော ကာမယေထ ခလု ဒေဟမိမံ အဗာလော?
දැවෙන ලෝහ ගුලියක් ගිලින්නේ කවරෙක්ද? බියකරු වූ ගින්නක් අල්ලෙන් අල්ලා ගැනීමට කිසිලෙසකවත් හැකිද? එසේ නම්, දුක උපදවන්නා වූ, අශුචි වැගිරෙන්නා වූ, අනන්ත වූ මේ ශරීරයට මෝඩ නොවන කිනම් කෙනෙක් නම් ආශා කරන්නේද?
၄၆.
46.
လောကေ န မစ္စုသမမတ္ထိ ဘယံ နရာနံန ဝျာဓိဒုက္ခသမမတ္ထိ စ ကိံစိ ဒုက္ခံ,ဧဝံ ဝိရူပကရဏံ န ဇရာသမာနံမောဟေန ဘော ရတိမုပေတိ တထာပိ ဒေဟေ;
ලෝකයෙහි මිනිසුන්ට මරණය හා සමාන වෙනත් බියක් නැත. ව්‍යාධි (ලෙඩවීම්) දුක හා සමාන වෙනත් කිසිදු දුකක්ද නැත. රූපය විරූපී කරන ජරාව හා සමාන වෙනත් කිසිවක්ද නැත. පින්වතුනි, එසේ වුවද මෝහය නිසා මිනිසා මේ ශරීරය කෙරෙහි ඇල්ම ඇති කර ගන්නේය.
၄၇.
47.
နိဿာရတော နလကလီကဒလီသမာနံအတ္တာနမေဝ ပရိဟညတိ အတ္တဟေတု,သမ္ပောသိတောပိ ကုသဟာယ ဣဝါကတညူကာယော န ယဿ အနုဂစ္ဆတိ ကာလကေရာ;
බට ගසක්, කලී (කෙසෙල් බඩයක්) හෝ කෙසෙල් කඳක් මෙන් නිසරු වූ මේ ශරීරය 'තමා' කියා ගැනීම නිසා තමාම විනාශයට පත්වෙයි. කොතෙක් පෝෂණය කළද, ගුණමකු මිතුරකු මෙන් මේ ශරීරය අවසාන කාලයේදී තමා පසුපස නොඑන්නේය.
၄၈.
48.
တံ ဖေဏပိဏ္ဍသဒိသံ ဝိသသူလကပ္ပံတောယာ’နိလာ’နလမဟီဥရဂါဓိဝါသံ,ဇိဏ္ဏာလယံဝ ပရိဒုဗ္ဗလမတ္တဘာဝံဒိသွာ နရော ကထမုပေတိ ရတိံ သပညော?
පෙණ පිඬක් බඳු වූද, විෂ සහිත හී සැරයක් බඳු වූද, ජලය, වාතය, ගින්න හා පෘථිවිය නමැති සර්පයන් වාසය කරන ස්ථානයක් වූද, දිරාපත් ගෙයක් මෙන් අතිශයින් දුර්වල වූ මේ ආත්මභාවය දැක ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් කෙසේ නම් එහි ඇලෙන්නේද?
၄၉.
49.
အာယုက္ခယံ သမုပယာတိ ခဏေ ခဏေပိအနွေတိ မစ္စု ဟနနာယ ဇရာသိပါဏီ,ကာလံ တထာ န ပရိဝတ္တတိ တံ အတီတံဒုက္ခံ ဣဒံ နနု ဘဝေသု အစိန္တနီယံ?
ආයුෂය ක්ෂණයක් පාසා ක්ෂය වී යයි. මරණය නමැති සතුරා විනාශ කිරීම පිණිස ජරාව නමැති කඩුව අතැතිව අප පසුපස ලුහුබඳියි. එසේම ඉක්ම ගිය කාලය නැවත හැරී නොඑන්නේය. භවයන්හි පවත්නා මේ දුක සැබවින්ම සිතාගත නොහැකි තරම් නොවේද?
၅၀.
50.
အပ္ပာယုကဿ မရဏံ သုလဘံ ဘဝေသုဒီဃာယုကဿ စ ဇရာ ဝျသနံ စ’နေကံ,ဧဝံ ဘဝေ ဥဘယတောပိ စ ဒုက္ခမေဝဓမ္မံ သမာစရထ ဒုက္ခဝိနာသနာယ;
භවයෙහි අල්පායුෂ්ක තැනැත්තාට මරණය ළඟා වීම පහසුය. දීර්ඝායුෂ ඇත්තාට ජරාව හා නොයෙක් විපත් සිදුවේ. මෙසේ භවයෙහි දෙපසින්ම ඇත්තේ දුකම පමණි. එබැවින් දුක විනාශ කිරීම පිණිස ධර්මයෙහි හැසිරෙන්න.
၅၁.
51.
ဒုက္ခဂ္ဂိနာ သုမဟတာ ပရိပီဠိတေသုလောကတ္တယဿ ဝသတော ဘဝဝါရကေသု,သဗ္ဗတ္တတာ သုစရိတဿ ပမာဒကာလောဘော ဘော န ဟောတိ ပရမံ ကုသလံ စိဏာထ;
පින්වතුනි, භව චක්‍රයන්හි වැටී තුන් ලොව වාසය කරන්නන් මහත් වූ දුක් නමැති ගින්නෙන් පීඩා විඳින කල්හි, හැම අයුරින්ම යහපත් හැසිරීමෙහි යෙදීමට මෙය ප්‍රමාද විය යුතු කාලයක් නොවේ. එබැවින් උතුම් වූ කුසල් රැස් කර ගන්න.
၅၂.
52.
အပ္ပံ သုခံ ဇလလဝံ ဝိယ ဘော တိဏဂ္ဂေဒုက္ခန္တု သာဂရဇလံ ဝိယ သဗ္ဗလောကေ,သံကပ္ပနာ တဒပိ ဟောတိ သဘာဝတော ဟိသဗ္ဗံ တိလောကမပိ ကေဝလဒုက္ခမေဝ;
පින්වතුනි, මුළු ලෝකයෙහිම ඇති සැපය තණ අග රැඳි පිනිබිඳක් මෙන් ඉතා අල්පය. එහෙත් දුක සාගර ජලය මෙන් අපමණය. ඒ සැපයද පවතින්නේ සිතුවිල්ලක් (කල්පනාවක්) වශයෙන් පමණි. ස්වභාවයෙන්ම මුළු තුන් ලොවම තනිකරම දුකක්ම වන්නේය.
၅၃.
53.
ကာယော န ယဿ အနုဂစ္ဆတိ ကာယဟေတုဗာလော အနေကဝိဓမာစရတီဟ ဒုက္ခံ,ကာယော သဒါ ကလိ မလာကလိလဉှိ လောကေကာယေ ရတော’နဝရတံ ဝျသနံ ပရေတိ
යමෙකු පසුපස මේ ශරීරය නොඑන්නේ වුවද, මෝඩයා ශරීරය උදෙසා මෙලොව නොයෙක් ආකාරයේ දුක් උපදවන දෑ කරයි. ශරීරය සැමවිටම කෙලෙස් හා අපවිත්‍ර දෑවලින් පිරී පවතී. ශරීරයෙහි ඇලුණු තැනැත්තා නිරන්තරයෙන්ම විපතට පත්වෙයි.
၅၄.
54.
မီဠှာကရံ ကလိမလာကရမာမဂန္ဓံသူဠာသိသလ္လဝိသပန္နဂရောဂဘူတံ,ဒေဟံ ဝိပဿထ ဇရာမရဏာဓိဝါသံတုစ္ဆံ သဒါ ဝိဂတသာရမိမံ ဝိနိန္ဒျံ;
අසූචි වළක් බඳු වූ, කිලිටු හා කෙලෙස් උපදවන්නා වූ, පිළිකුල් ගන්ධය හමන්නා වූ, උලක්, කඩුවක්, ඊතලයක්, විෂ සර්පයෙක් හා රෝගයක් බඳු වූ, ජරා මරණ රැඳී පවත්නා වූ, නිසරු වූද නින්දා කටයුතු වූද මේ හිස් ශරීරය පිළිබඳව විදර්ශනා නුවණින් බලන්න.
၅၅.
55.
ဒုက္ခံ အနိစ္စမသုဘံ ဝတ အတ္တဘာဝံမာ သံကိလေသယ န ဝိဇ္ဇတိ ဇာတု နိစ္စော,အမ္ဘော န ဝိဇ္ဇတိ ဟိ အပ္ပမပီဟ သာရံသာရံ သမာစရထ ဓမ္မမလံ ပမာဒံ;
සැබවින්ම මේ ආත්මභාවය දුක් සහිතය, අනිත්‍යය, අශුභය. එබැවින් කෙලෙස්වලින් එය කිලිටි නොකරන්න. මෙහි කිසි කලෙකත් නිත්‍ය වූ කිසිවක් නැත. පින්වතුනි, මෙලොව ස්වල්ප වූ හෝ සාරයක් නැත. ප්‍රමාදය දුරු කර, සාරය වූ උතුම් ධර්මයෙහි හැසිරෙන්න.
၅၆.
56.
မာယာမရီစိကဒလီနလဖေဏပုဉ္ဇ-ဂံဂါတရင်္ဂဇလဗုဗ္ဗုလသန္နိဘေသု,ခန္ဓေသု ပဉ္စသု ဆဠာယတနေသု တေသုအတ္တာ န ဝိဇ္ဇတိ ဟိ ကော န ဝဒေယျ’ဗာလော?
මායාවක්, මිරිඟුවක්, කෙසෙල් කඳක්, බට ගසක්, පෙණ පිඬක්, ගංගා තරංගයක් හා දිය බුබුලක් බඳු වූ මේ පංචස්කන්ධය හා සළායතනයන් කෙරෙහි 'ආත්මයක්' (තමා කියා ගත හැකි දෙයක්) නැත. මෝඩයකු හැර වෙන කවරෙක් නම් මෙය නොකියන්නේද?
၅၇.
57.
ဝဉ္ဈာသုတော သသဝိသာဏမယေ ရထေ တု,ဓာဝေယျ စေ စိရတရံ သဓုရံ ဂဟေတွာ,ဒီပစ္စိမာလမိဝ တံ ခဏဘင်္ဂဘူတံအတ္တာတိ ဒုဗ္ဗလတရန္တု ဝဒေယျ ဒေဟံ;
වඳ ස්ත්‍රියකගේ පුත්‍රයෙකු, හාවුන්ගේ අංවලින් තැනූ රථයක වියගහ ගෙන බොහෝ වේලාවක් දිව යන්නේ නම්, (එවැනි නොවිය හැකි දෙයක් සේ) පහන් සිළු පෙළක් මෙන් ක්ෂණයකින් බිඳී යන, අතිශයින් දුර්වල වූ මේ ශරීරය 'ආත්මය' යැයි කෙනෙකුට කිව හැකිය.
၅၈.
58.
ဗာလော ယထာ သလိလဗုဗ္ဗုလဘာဇနေနအာကဏ္ဌတော ဝတ ပိဗေယျ မရီစိတောယံ,အတ္တာနိ သာရရဟိတံ ကဒလီသမာနံမောဟာ ဘဏေယျ ခလု ဒေဟမိမံ အနတ္တံ;
මෝඩයෙකු දිය බුබුලකින් කළ බඳුනකින් මිරිඟු දිය කරවටක් බොන්නට උත්සාහ කරන්නේ යම් සේද, එලෙසම මෝහය නිසා සාරයක් නැති, කෙසෙල් කඳක් බඳු වූ, අනාත්ම වූ මේ ශරීරය 'ආත්මය' යැයි කියන්නේය.
၅၉.
59.
ယော’ဒုမ္ဗရဿ ကုသုမေန မရီစိတောယံဝါသံ ယဒိစ္ဆတိ သ ခေဒမုပေတိ ဗာလော,အတ္တာနမေဝ ပရိဟညတိ အတ္တဟေတုအတ္တာ န ဝိဇ္ဇတိ ကဒါစိဒပီဟ ဒေဟေ;
දිඹුල් මලින් හෝ මිරිඟු දියෙන් සුවඳ විලවුන් ගැල්වීමට කැමති වන මෝඩයා ක්ලමථයට (වෙහෙසට) පත්වන්නේ යම් සේද, එලෙසම 'ආත්මය' යන හැඟීම නිසා මිනිසා තමාම විනාශ කර ගනී. මේ ශරීරය තුළ කිසි කලෙකත් ආත්මයක් විද්‍යමාන නොවේ.
၆၀.
60.
ပေါသော ယထာ ဟိ ကဒလီ သုဝိနိဗ္ဘုဇန္တောသာရံ တဒပ္ပမ္ပိ နောပလဘေယျ ကာမံ,ခန္ဓေသု ပံစသု ဆဠာယတနေသု တေသုသုညေသု ကိဉ္စိဒပိ နောပလဘေယျ သာရံ;
කෙසෙල් කඳක් පොතු ගලවන මිනිසෙකුට එහි ස්වල්ප වූ හෝ අරටුවක් (සාරයක්) සොයා ගත නොහැකි වන්නාක් මෙන්ම, හිස් වූ මේ පංචස්කන්ධය හා සළායතනයන් කෙරෙහිද කිසිදු සාරයක් සොයා ගත නොහැකිය.
၆၁.
61.
သုတ္တံ ဝိနာ န ပဋဘာဝမိဟတ္ထိ ကိံစိဒေဟံ ဝိနာ န ခလု ကောစိ မိဟတ္ထိ သတ္တော,ဒေဟော သဘာဝရဟိတော ခဏဘံဂယုတ္တော,ကော အတ္တဟေတု အပရော ဘုဝိ ဝိဇ္ဇတီဟ?
නූල් හැර රෙද්දක් කියා වෙනත් දෙයක් නැත්තාක් මෙන්ම, ශරීරය හැර සත්වයෙක් කියා වෙනත් කිසිවෙක් නැත. ශරීරයද ස්වභාවයෙන් හිස් වූ, ක්ෂණයකින් බිඳී යන සුලු වූවකි. එසේ නම් 'ආත්මය' යනුවෙන් වෙනත් කවරක් මෙලොව තිබේද?
၆၂.
62.
ဒိသွာ မရီစိသလိလဉှိ သုဒူရတော ဘောဗာလော မိဂေါ သမုပဓာဝတိ တောယသညီ,ဧဝံ သဘာဝရဟိတေ ဝိပရီတသိဒ္ဓေဒေဟေ ပရေတိ ပရိကပ္ပနယာ ဟိ ရာဂံ;
පින්වතුනි, ඈතින් පෙනෙන මිරිඟු දිය දැක, එය සැබෑ ජලය යැයි සිතා මෝඩ මුවා ඒ දෙසට දිව යන්නේය. එලෙසම, සැබෑ ස්වභාවයෙන් තොර වූ, විපරීත වූ මේ ශරීරය කෙරෙහි මිනිසා මනඃකල්පිතයන් මඟින් ඇල්ම (රාගය) ඇති කර ගන්නේය.
၆၃.
63.
ဒေဟေ သဘာဝရဟိတေ ပရိကပ္ပသိဒ္ဓေအတ္တာ န ဝိဇ္ဇတိ ဟိ ဝိဇ္ဇုမိဝန္တလိက္ခေ,ဘာဝေထ ဘာဝနရတာ ဝိဂတပ္ပမာဒါသဗ္ဗာသဝပ္ပဟနနာယ အနတ္တသညံ;
ස්වභාවයක් (ආත්මයක්) නැති, මනඃකල්පිතයෙන් සිද්ධ වූ මේ ශරීරයෙහි, අහසේ විදුලි කෙටීමක් මෙන් ආත්මයක් විද්‍යමාන නොවේ. එබැවින් භාවනාවෙහි නිරත වූ, ප්‍රමාදයෙන් තොර වූ තැනැත්තනි, සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කිරීම පිණිස අනාත්ම සංඥාව වඩන්න.
၆၄.
64.
လာလာကရီသရုဓိရဿုဝသာနုလိတ္တံဒေဟံ ဣမံ ကလိမလာကလိလံ အသာရံ,သတ္တာ သဒါ ပရိဟရန္တိ ဇိဂုစ္ဆနီယံနာနာသုစီဟိ ပရိပုဏ္ဏဃဋံ ယထေဝ;
කෙළ, මල, ලේ, කඳුළු සහ වුරුණුතෙල් තැවරුණු, ක්ලේශ මලයෙන් කිලිටි වූ, අසාර වූ ද පිළිකුල් කටයුතු වූ ද මේ ශරීරය, නානාප්‍රකාර අපවිත්‍ර දේවලින් පිරුණු කළයක් මෙන් සත්ත්වයෝ සැමදා පරිහරණය කරති.
၆၅.
65.
ဏဟာတွာ ဇလဉှိ သကလံ စတုသာဂရဿမေရုပ္ပမာဏမပိ ဂန္ဓမနုတ္တရဉ္စ,ပပ္ပောတိ နေဝ မနုဇော ဟိ သုစိံ ကဒါစိကိံ ဘော ဝိပဿထ ဂုဏံ ကိမု အတ္တဘာဝေ?
සතර මහා සාගරයේ සියලු ජලයෙන් ස්නානය කළ ද, මහා මේරු පර්වතය තරම් උතුම් සුවඳ විලවුන් ආලේප කළ ද, මනුෂ්‍යයා කිසි කලෙකත් පිරිසිදු බවට පත් නොවේ. එම්බා පින්වත, ඔබ මේ ආත්මභාවයෙහි දකින ගුණය කුමක්ද?
၆၆.
66.
ဒေဟော သ ဧဝ ဝိဝိဓာသုစိသန္နိဓာနောဒေဟော သ ဧဝ ဝဓဗန္ဓနရောဂဘူတော,ဒေဟော သ ဧဝ နဝဓာ ပရိဘိန္နဂဏ္ဍောဒေဟံ ဝိနာ ဘယကရံ န သုသာနမတ္ထိ;
ඒ ශරීරයම නානාවිධ අපවිත්‍ර දේවල තැන්පතුවකි. ඒ ශරීරයම වධබන්ධන හා රෝගවලට පැමිණියකි. ඒ ශරීරයම නව දොරකින් වැගිරෙන වණයක් බඳුය. මේ ශරීරය හැරුණු කොට වෙනත් භයංකර සොහොනක් නැත.
၆၇.
67.
အန္တောဂတံ ယဒိဝ မုတ္တကရီသဘာဂေါဒေဟာ ဗဟိံ အတိစရေယျ ဝိနိက္ခမိတွာ,မာတာ ပိတာ ဝိကရုဏာ စ ဝိနဋ္ဌပေမာကာမံ ဘဝေယျု ကိမု ဗန္ဓုသုတာ စ ဒါရာ?
ශරීරය ඇතුළත ඇති මලමුත්‍ර කොටස් ශරීරයෙන් පිටතට ගලා හැලෙන්නේ නම්, මව සහ පියා පවා කරුණාවෙන් තොරව, සෙනෙහස බිඳී වෙන්වන්නාහ. එසේ නම් නෑදෑයන්, දරුවන් සහ කලත්‍රයන් ගැන කවර කතාද?
၆၈.
68.
ဒေဟံ ယထာ နဝမုခံ ကိမိသံဃဂေဟံမံသဋ္ဌိသေဒရုဓိရာကလိလံ ဝိဂန္ဓံ,ပေါသေန္တိ ယေ ဝိဝိဓပါပမိဟာစရိတွာတေ မောဟိတာ မရဏဓမ္မမဟော ဝတေဝံ!
නව දොරක් ඇති, පණුවන් සමූහයාට නිවහනක් වූ, මස්, ඇට, ඩහදිය සහ ලෙයින් පිරුණු, දුර්ගන්ධය හමන ශරීරය, මෙලොව නන්විධ පව්කම් කරමින් යම් කෙනෙක් පෝෂණය කරත් ද, මරණය උරුම කොට ඇති ඔවුහු මුළාවට පත් වූවෝ වෙති. අහෝ! එය කෙතරම් කණගාටුදායකද!
၆၉.
69.
ဂဏ္ဍူပမေ ဝိဝိဓရောဂ နိဝါသဘူတေကာယေ သဒါ ရုဓိရမုတ္တကရီသပုဏ္ဏေ,ယော ဧတ္ထ နန္ဒတိ နရော သသိဂါလဘက္ခေကာမဉှိ သောစတိ ပရတ္ထ သ ဗာလဗုဒ္ဓိ;
වණයක් බඳු වූ, නානාවිධ රෝගයන්ට නිවහනක් වූ, නිරතුරුව ලේ, මල සහ මුත්‍රාවලින් පිරුණු, බල්ලන්ට හා හිවලුන්ට ගොදුරු වන මේ ශරීරයෙහි යම් අඥාන මනුෂ්‍යයෙක් සතුටු වේ ද, ඔහු ඒකාන්තයෙන්ම පරලොවදී ශෝකයට පත් වේ.
၇၀.
70.
ဘော ဖေဏပိဏ္ဍသဒိသော ဝိယ သာရဟီနောမီဠှာလယော ဝိယ သဒါ ပဋိကူလဂန္ဓော,အာသီဝိသာလယနိဘော သဘယော သဒုက္ခောဒေဟော သဒါ သဝတိ လောဏဃဋောဝ ဘိန္နော;
එම්බා පින්වත, පෙන පිඬක් බඳු වූ, අසාර වූ, වැසිකිළි වළක් මෙන් නිතර පිළිකුල් සහගත දුර්ගන්ධය හමන, දරුණු විෂඝෝර සර්පයෙකුගේ නිවහනක් බඳු වූ, බිය සහිත, දුක් සහිත මේ ශරීරය, සිදුරු වූ ලුණු කළයක් මෙන් නිරතුරුව වැගිරෙයි.
၇၁.
71.
ဇာတံ ယထာ န ကမလံ ဘုဝိ နိန္ဒနီယံပင်္ကေသု ဘော အသုစိတောယ သမာကုလေသု,ဇာတံ တထာ ပရဟိတမ္ပိ စ ဒေဟဘူတံတံ နိန္ဒနီယမိဟ ဇာတု န ဟောတိ လောကေ;
අපවිත්‍ර ජලයෙන් පිරුණු මඩෙහි හටගත්ත ද, නෙළුම් මල මෙලොව කිසිවෙකුගේ නින්දාවට ලක් නොවන්නා සේම, මේ ශරීරය ඇසුරින් උපදින්නා වූ පරාර්ථ සේවය මෙලොව කිසි කලෙකත් නින්දාවට කරුණක් නොවේ.
၇၂.
72.
ဒွတ္တိံသဘာဂပရိပူရတရော ဝိသေသောကာယော ယထာ ဟိ နရနာရိ ဂဏဿ လောကေ,ကာယေသု ကိံ ဖလမိဟတ္ထိ စ ပဏ္ဍိတာနံကာမံ တဒေဝ နနု ဟောတိ ပရောပကာရံ;
මෙලොව ස්ත්‍රී පුරුෂ සමූහයාගේ ශරීරය දෙතිස් කුණප කොටස්වලින් අතිශයින් පිරී පවතී. එබඳු ශරීරවලින් නුවණැත්තන්ට ඇති ඵලය කුමක්ද? ඒකාන්තයෙන්ම පරෝපකාරය හැර වෙනත් ඵලයක් නැත.
၇၃.
73.
ပေါသောန ပဏ္ဍိတတရေန တထာပိ ဒေဟောသဗ္ဗတ္တနာ စိရတရံ ပရိပါလနီယော,ဓမ္မံ စရေယျ သုစိရံ ခလု ဇီဝမာနောဓမ္မေ ဟဝေ မဏိဝရော ဣဝ ကာမဒေါ ဘော
එසේ වුවත්, නුවණැති මනුෂ්‍යයා විසින් තමන්ගේ ශරීරය දිගු කලක් මැනවින් ආරක්ෂා කරගත යුතුය. එසේ ජීවත්වෙමින් ඔහු බොහෝ කලක් ධර්මයෙහි හැසිරිය යුතුය. එම්බා පින්වත, ධර්මය වනාහි ඒකාන්තයෙන්ම කැමති සියල්ල දෙන උතුම් මාණික්‍ය රත්නයක් බඳුය.
၇၄.
74.
ခီရေ ယထာ သုပရိဘာဝိတမောသဓမှိသ္နေဟေန ဩသဓဗလံ ပရိဘာသတေဝ,ဓမ္မော တထာ ဣဟ သမာစရိတော ဟိ လောကေဆာယာဝ ယာတိ ပရလောက မိတော ဝဇန္တံ;
මැනවින් ඖෂධ මුසු කරන ලද කිරිවල, එහි ඇති තෙල් ස්වභාවය නිසා ඖෂධ බලය බැබළෙන්නා සේම, මෙලොවදී මැනවින් පුරුදු කරන ලද ධර්මය, මෙයින් පරලොව යන තැනැත්තා අනුව සෙවනැල්ලක් මෙන් ලුහුබඳියි.
၇၅.
75.
ကာယဿ ဘော ဝိရစိတဿ ယထာနုကူလံဆာယာ ဝိဘာတိ ရုစိရာမလဒပ္ပဏေ တု,ကတွာ တထေဝ ပရမံ ကုသလံ ပရတ္ထသမ္ဘူသိတာ ဣဝ ဘဝန္တိ ဖလေန တေန;
එම්බා පින්වත, මැනවින් සරසන ලද ශරීරයේ සෙවනැල්ල පිරිසිදු කැඩපතක අලංකාරව පෙනෙන්නා සේම, පරලොව උදෙසා උතුම් කුසල් දහම් සිදුකළ විට, ඔවුහු ඒ කුසල් විපාකයෙන් එහිදී සැරසුණාක් මෙන් බැබළෙති.
၇၆.
76.
ဒေဟေ တထာ ဝိဝိဓဒုက္ခ နိဝါသဘူတေမောဟာ ပမာဒဝသဂါ သုခသညမူဠှာ,တိက္ခေ ယထာ ခုရမုခေ မဓုလေဟမာနောဗာဠှဉ္စ ဒုက္ခမနုဂစ္ဆတိ ဟီနပညော;
එලෙසම, නානාවිධ දුක්වලට නිකේතනයක් වූ මේ ශරීරය කෙරෙහි, මෝහයට හා ප්‍රමාදයට වසඟව, සැපයැයි ගන්නා මුළාවෙන් යුතුව, මියුරු මී පැණි තැවරූ තියුණු දැළිපිහියක් ලෙවකන තැනැත්තෙකු මෙන්, හීන ප්‍රඥාව ඇති පුද්ගලයා අතිශයින්ම මහත් වූ දුකට පත්වේ.
၇၇.
77.
သံကပ္ပရာဂဝိဂတေ နိရတတ္တဘာဝေဒုက္ခံ သဒါ သမဓိဂစ္ဆတိ အပ္ပပညော,မူဠှဿ စေဝ သုခသညမိဟတ္ထိလောကေကိံပက္ကမေဝ နနု ဟောတိ ဝိစာရမာနေ;
රාග සංකල්පයන්ගෙන් තොර වූ ද, ආත්මයක් නැති වූ ද මේ ශරීරය කෙරෙහි අඥාන තැනැත්තා නිරතුරුවම දුකට පත්වේ. මුළා වූවන් මෙලොවදී ලබන සැපය පිළිබඳ සංඥාව, විමසා බලන කල, විෂ සහිත කිම්පක්ක ගෙඩියක් බඳු නොවේද?
၇၈.
78.
သဗ္ဗောပဘောဂ ဓနဓညဝိသေသလာဘီရူပေန ဘော သ မကရဒ္ဓဇသန္နိဘောပိ,ယော ယောဗ္ဗနေပိ မရဏံ လဘတေ အကာမံကာမံ ပရတ္ထပရပါဏဟရော နရော ဟိ;
සියලු පරිභෝජන ද්‍රව්‍ය, ධන ධාන්‍ය හා විශේෂ ලාභ ලබන්නෙකු වුව ද, රූපයෙන් අනංගයා බඳු වුව ද, යම් මිනිසෙක් අන්‍යන්ගේ ජීවිත විනාශ කරන්නෙක් වේ ද, ඔහු තරුණ වියෙහිදී පවා අකමැත්තෙන්ම මරණයට පත්වී පරලොව යන්නේමය.
၇၉.
79.
သော ယာစကော ဘဝတိ ဘိန္နကပါလဟတ္ထောမုဏ္ဍော ဓိဂက္ခရသတေဟိ စ တဇ္ဇယန္တော,ဘိက္ခံ သဒါရိဘဝနေ သကုစေလဝါသောဒေဟေ ပရတ္ထိ ပရစိတ္တဟရော နရော ယော;
තමාගේ ශරීරය වෙනුවෙන් අන්‍යන්ගේ සිත් රිදවූ යම් මිනිසෙක් වේ ද, ඔහු හිස මුඩු කරගත්, බිඳුණු කබලක් අතැති, සිය ගණන් නින්දා අපහාස ලබමින්, වැරහැලි ඇඳගෙන, නිරතුරුව සතුරන්ගේ නිවෙස්වල සිඟමන් යදින හිඟන්නෙක් බවට පත්වේ.
၈၀.
80.
ဣတ္ထီ နမုဉ္စတိ သဒါ ပုန ဣတ္ထိဘာဝါနာရီ သဒါ ဘဝတိ သော ပုရိသော ပရတ္ထ,ယော အာစရေယျ ပရဒါရမလင်္ဃနီယံဃောရဉ္စ ဝိန္ဒတိ သဒါ ဝျသနဉ္စ နေကံ;
වැරදි ලෙස අන්‍ය කලත්‍රයන් ඇසුරු කරන පුරුෂයා පරලොවදී නිරතුරුවම ස්ත්‍රියක් බවට පත්වන අතර, ඇයද නැවත ස්ත්‍රී භාවයෙන් මිදෙන්නේ නැත. තවද ඔහු නිරතුරුවම නොයෙක් දරුණු ව්‍යසනයන්ට මුහුණ දෙයි.
၈၁.
81.
ဒီနော ဝိဂန္ဓဝဒနော စ ဇဠော အပညောမူဂေါ သဒါ ဘဝတိ အပ္ပိယဒဿနော စ,ပပ္ပောတိ ဒုက္ခမတုလဉ္စ မနုဿဘူတောဝါစံ မုသာ ဘဏတိ ယော ဟိ အပညသတ္တော;
යම් අඥාන පුද්ගලයෙක් මුසාවාද පවසයි ද, ඔහු මනුෂ්‍යයෙකුව උපන් කල්හි දීන වූ, කටින් දුර්ගන්ධය හමන, මෝඩ, ප්‍රඥාහීන, නිතර ගොළු වූ සහ අප්‍රිය දර්ශන ඇති අයෙකු බවට පත්වී, අසිරිමත් දුකට පැමිණෙයි.
၈၂.
82.
ဥမ္မတ္တကာ ဝိဂတလဇ္ဇဂုဏာ ဘဝန္တိဒီနာ သဒါ ဝျသနသောကပရာယဏာ စ,ဇာတာ ဘဝေသု ဝိဝိဓေသု ဝိရူပဒေဟာပီတွာ ဟလာဟလဝိသံဝ သုရံ ဝိပညာ;
හලාහල විෂ බඳු වූ සුරාපානය කොට ප්‍රඥාවෙන් තොර වූවෝ, උමතු වෙති, ලැජ්ජා ගුණයෙන් තොර වෙති, නිරතුරුවම දීන වූ ව්‍යසන හා ශෝකයෙන් පිරුණෝ වෙති. ඔවුහු නොයෙක් භවයන්හි විරූපී ශරීර ඇතිව උපදිති.
၈၃.
83.
ပါပါနိ ယေန ဣဟ အာစရိတာနိ ယာနိယော ဝဿကောဋိနဟုတာနိ အနပ္ပကာနိ,လဒ္ဓါန ဃောရမတုလံ နရကေသု ဒုက္ခံပပ္ပောတိ စေတ္ထ ဝိဝိဓဝျသနဉ္စ နေကံ;
මෙලොවදී යම් කෙනෙකු විසින් යම් පව්කම් කරන ලද්දේ ද, ඔහු කෝටි ප්‍රකෝටි වර්ෂ ගණනාවක් නිරයෙහි දරුණු වූ, අසදෘශ වූ දුක් විඳිමින්, එහිදී නොයෙක් ආකාරයේ අනේකවිධ ව්‍යසනයන්ට ද පත්වේ.
၈၄.
84.
လောကတ္တယေသု သကလေသု သမံ န ကိံစိလောကဿ သန္တိကရဏံ ရတနတ္တယေန,တံတေဇသာ သုမဟတာ ဇိတသဗ္ဗပါပေါသောဟံ သဒါဓိဂတသဗ္ဗသုခေါ ဘဝေယျံ;
තුන් ලෝකයෙහිම ලෝකයාට ශාන්තිය සලසන තෙරුවන් හා සමාන වූ කිසිවක් නැත. ඒ උදාර වූ තෙරුවන්ගේ තේජසින් සියලු පව් දුරු කොට, මම නිරතුරුවම සියලු සැපතට පත්වෙම්වා!
၈၅.
85.
လောကတ္တယေသု သကလေသု စ သဗ္ဗသတ္တာမိတ္တာ စ မဇ္ဈရိပုဗန္ဓုဇနာ စ သဗ္ဗေ,တေ သဗ္ဗဒါ ဝိဂတရောဂဘယာ ဝိသောကာသဗ္ဗံ သုခံ အဓိဂတာ မုဒိတာ ဘဝန္တု;
තුන් ලෝකයෙහිම වෙසෙන සියලු සත්ත්වයෝ ද, මිතුරෝ ද, මධ්‍යස්ථ අය ද, සතුරෝ ද, නෑදෑයෝ ද යන සියල්ලෝම සැමදා රෝග බියෙන් හා ශෝකයෙන් තොරව, සියලු සැපතට පැමිණ සතුටු වෙත්වා!
၈၆.
86.
ကာယော ကရီသဘရိတော ဝိယ ဘိန္နကုမ္ဘောကာယော သဒါ ကလိမလဝျသနာဓိဝါသော,ကာယေ ဝိဟညတိ စ သဗ္ဗသုခန္တိ လောကောကာယော သဒါ မရဏရောဂဇရာဓိဝါသော;
ශරීරය වනාහි මල මුත්‍රවලින් පිරුණු, බිඳුණු කළයක් බඳුය. ශරීරය සැමදා කෙලෙස් මලින් හා ව්‍යසනයන්ගෙන් පිරුණු නිවසකි. ලෝකයා සියලු සැපය මේ ශරීරයෙහි ඇතැයි සිතා පීඩා විඳිති. ශරීරය සැමදා මරණය, රෝග හා ජරාවට රජදහනකි.
၈၇.
87.
သော ယောဗ္ဗနောတိ ထဝိရောတိ စ ဗာလကောတိသတ္တေ န ပေက္ခတိ ဝိဟညတိရေဝ မစ္စု,သောဟံ ဌိတောပိ သယိတောပိ စ ပက္ကမန္တောဂစ္ဆာမိ မစ္စုဝဒနံ နိယတံ တထာ ဟိ;
මරණය වනාහි "මොහු තරුණයෙකි, මොහු මහල්ලෙකි, මොහු කුඩා දරුවෙකි" කියා සත්ත්වයන් දෙස නොබලයි; ඒකාන්තයෙන්ම විනාශ කරයි. එබැවින් මම සිටගෙන සිටියත්, වැතිර සිටියත්, ඇවිද යමින් සිටියත්, ඒකාන්තයෙන්ම මරණය නමැති මුඛය කරාම යමි.
၈၈.
88.
ဧဝံ ယထာ ဝိဟိတဒေါသမိဒံ သရီရံနိစ္စံဝ တဂ္ဂတမနာ ဟဒယေ ကရောထ,မေတ္တံ ပရိတ္တမသုဘံ မရဏဿတိဉ္စဘာဝေထ ဘာဝနရတာ သတတံ ယတတ္တာ;
මේ අයුරින් නොයෙක් දෝෂයන්ගෙන් යුත් මේ ශරීරය පිළිබඳව නිරතුරුවම සිතෙහි ධාරණය කරගන්න. භාවනාවෙහි නිරත වූ, තැන්පත් සිත් ඇතිව, මෙත්තා, පිරිත්, අසුභ සහ මරණානුස්සති යන සතර සමන්විත භාවනාවන් නිරතුරුව වඩන්න.
၈၉.
89.
ဒါနာဒိ ပုညကိရိယာနိ သုခုဒြယာနိကတွာ စ တမ္ဖလမသေသ မိဟပ္ပမေယျံ,ဒေယျံ သဒါ ပရဟိတာယ သုခါယ စေဝကိမ္ဘော တဒေဝ နနု ဟတ္ထဂတဉှိ သာရံ?
සැපත ළඟා කර දෙන දානාදී පුණ්‍ය ක්‍රියාවන් සිදුකොට, එහි අප්‍රමාණ වූ සියලු පින් ඵලයන් මෙලොවදී අන් අයගේ යහපත හා සුඛවිහරණය පිණිස සැමදා අනුමෝදන් කළ යුතුය. එම්බා පින්වත, තමන්ගේ අතට පත්වන සැබෑ සාරය එයම නොවේද?
၉၀.
90.
ဟေတုံ ဝိနာ န ဘဝတီ ဟိ စ ကိံစိ လောကေသဒ္ဒေါဝ ပါဏိတလဃဋ္ဋနဟေတုဇာတော,ဧဝဉ္စ ဟေတုဖလ ဘာဝဝိဘာဂဘိန္နောလောကော ဥဒေတိ စ ဝိနဿတိ တိဋ္ဌတီ စ;
අත්ල දෙක එකිනෙක ගැටීමේ හේතුවෙන් උපදින ශබ්දය මෙන්, මෙලොව කිසිවක් හේතුවක් නොමැතිව හට නොගනී. මෙසේ හේතු-ඵල ධර්මතාවන්ගේ බෙදීමෙන් යුත් ලෝකය හටගන්නේය, විනාශ වන්නේය, පවතින්නේය.
၉၁.
91.
ကမ္မဿ ကာရဏာမယဉှိ ယထာ အဝိဇ္ဇာဘော ကမ္မနာ သမဓိဂစ္ဆတိ ဇာတိဘေဒံ,ဇာတိံ ပဋိစ္စ စ ဇရာမရဏာဒိဒုက္ခံသတ္တာ သဒါ ပဋိလဘန္တိ အနာဒိကာလေ;
එම්බා පින්වත, අවිද්‍යාව කර්මයට හේතුව වන්නා සේම, කර්මය නිසා සත්ත්වයා නන්විධ ජාතීන් කරා පැමිණෙයි. උපත හේතුවෙන් ජරා මරණාදී දුක් ද, සත්ත්වයෝ අනාදිමත් කාලයක සිට නිරතුරුව ලබති.
၉၂.
92.
ကမ္မံ ယထာ န ဘဝတီဟ စ မောဟနာသာကမ္မက္ခယာပိ စ န ဟောတိ ဘဝေသု ဇာတိ,ဇာတိက္ခယာ ဣဟ ဇရာမရဏာဒိဒုက္ခံသဗ္ဗက္ခယော ဘဝတိ ဒီပေဝါနိလေန;
මෝහය විනාශ වීමෙන් මෙලොව කර්මයක් සිදු නොවන්නා සේම, කර්මය ක්ෂය වීමෙන් නැවත භවයන්හි උපතක් සිදු නොවේ. උපත ක්ෂය වීමෙන් මෙලොව ජරා මරණාදී සියලු දුක් ද, සුළඟින් නිවී යන පහනක් මෙන්, මුළුමනින්ම නැති වී යයි.
၉၃.
93.
ယော ပဿတီဟ သတတံ မုနိဓမ္မကာယံဗုဒ္ဓံ သ ပဿတိ နရော ဣတိ သော အဝေါစ,ဗုဒ္ဓဉ္စ ဓမ္မမမလဉ္စ တိလောကနာထံသမ္ပဿိတုံ ဝိစိနထာ’ပိ စ ဓမ္မတံ ဘော;
"යම් මිනිසෙක් මෙලොව නිරතුරුව මුනින්ද්‍රයන් වහන්සේගේ ධර්ම කාය දකී ද, ඔහු බුදුරජාණන් වහන්සේ දකී" යැයි උන්වහන්සේ වදාළ සේක. එබැවින් එම්බා පින්වත, තෙලෝනාථ වූ බුදුරජාණන් වහන්සේත්, නිර්මල වූ ධර්මයත් දැකගනු පිණිස ධර්මතාවයම විමසා බලන්න.
၉၄.
94.
သလ္လံဝ ဘော သုနိသိတံ ဟဒယေ နိမုဂ္ဂံဒေါသတ္တယံ ဝိဝိဓပါပမလေန လိတ္တံ,နာနာဝိဓဗျသနဘာဇနမပ္ပသန္နံပညာမယေန ဗလိသေန နိရာကရောထ;
පින්වතුනි! ත්‍රිවිධ දෝෂයන්ගෙන් හා නානාප්‍රකාර පාප මලයන්ගෙන් තැවරුණු, නොයෙක් විපත්තිවලට භාජනය වූ, ප්‍රසාදයෙන් තොර වූ, හදවතෙහි කිඳාබැස ඇති මැනවින් මුවහත් කරන ලද කෙලෙස් නමැති හුල ප්‍රඥාව නමැති බිලී කොක්කෙන් උදුරා දමන්න.
၉၅.
95.
နာကမ္ပယန္တိ သကလာပိ စ လောကဓမ္မာစိတ္တံ သဒါပဂတပါပကိလေသသလ္လံ,ရူပါဒယော စ ဝိဝိဓာ ဝိသယာ သမဂ္ဂါဖုဋ္ဌံဝ မေရုသိခရံ မဟတာနိလေန;
මහා මාරුතයකින් ගැටුණු මහා මේරු පර්වත මුදුන මෙන්, සැමකල්හිම පහ කරන ලද පාපී කෙලෙස් නමැති හී සැර ඇති සිත, සියලු ලෝකධර්මයන් විසින් හෝ රූප ආදී විවිධ වූ සියලු අරමුණු විසින් හෝ කිසිසේත් කම්පා කරනු නොලැබේ.
၉၆.
96.
သံသာရဒုက္ခမဂဏေယျ ယထာ မုနိန္ဒောဂမ္ဘိရပါရမိတ သာဂရမုတ္တရိတွာ,ဉေယျံ အဗောဓိ နိပုဏံ ဟတမောဟဇာလောတသ္မာ သဒါ ပရဟိတံ ပရမံ စိဏာထ;
මුනින්ද්‍රයන් වහන්සේ සංසාර දුක නොතකා, ගැඹුරු වූ පාරමිතා සාගරය තරණය කොට, මෝහ ජාලය සිඳබිඳ දමා, සියුම් වූ සියලු දතයුතු ධර්මයන් අවබෝධ කරගත් සේක්ද, එබැවින් ඔබ සැමද හැමවිටම පරමාර්ථ වූ පරහිත සුවයම සිදු කරන්න.
၉၇.
97.
ဩဟာယ သော’ဓိဂတမောက္ခသုခံ ပရေသံအတ္ထာယ သံစရိ ဘဝေသု မဟဗ္ဘယေသု,ဧဝံ သဒါ ပရဟိတံ ပုရတော ကရိတွာဓမ္မော မယာနုစရိတော ဇဂဒတ္ထမေဝ;
තමන් වහන්සේ ලබාගත් නිවන් සුවය පසෙක තබා, අන්‍යන්ගේ යහපත උදෙසා මහා භයංකර වූ සංසාර භවයන්හි සැරිසැරූ සේක. මෙසේ සැමවිටම පරහිත සුවය පෙරදැරි කරගෙන, මා විසින් ද ලෝකයාගේ යහපත උදෙසාම ධර්මයෙහි හැසිරිය යුතුය.
၉၈.
98.
လဒ္ဓါန ဒုလ္လဘတရဉ္စ မနုဿယောနိံသဗ္ဗံ ပပဉ္စရဟိတံ ခဏသမ္ပဒဉ္စ,ဉတွာန အာသဝနုဒေကဟိတဉ္စ ဓမ္မံကော ပညဝါ အနဝရံ န ဘဇေယျ ဓမ္မံ?
ඉතා දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මභාවය ද, සියලු ප්‍රපංචයන්ගෙන් තොර වූ ක්ෂණ සම්පත්තිය ද ලබාගෙන, ආශ්‍රවයන් දුරු කරන්නා වූ ඒකාන්ත හිතකර වූ ධර්මය දැනගෙන, කිනම් ප්‍රඥාවන්තයෙක් නම් නිරන්තරයෙන් ඒ උතුම් ධර්මය සේවනය නොකරන්නේද?
၉၉.
99.
လဒ္ဓါန ဗုဒ္ဓသမယံ အတိဒုလ္လဘံစသဒ္ဓမ္မ မဂ္ဂမသမံ သိဝဒံ တထေဝ,ကလျာဏမိတ္တပဝရေ မတိသမ္ပဒဉ္စကော ဗုဒ္ဓိမာ အနဝရံ န ဘဇေယျ ဓမ္မံ?
අතිශයින්ම දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය ද, ශාන්තිය ලබාදෙන අසමසම වූ සද්ධර්ම මාර්ගය ද, උතුම් වූ කල්‍යාණමිත්‍රයන් ද, ප්‍රඥා සම්පත්තිය ද ලබාගෙන, කිනම් බුද්ධිමතෙක් නම් නිරන්තරයෙන් ඒ උතුම් ධර්මය සේවනය නොකරන්නේද?
၁၀၀.
100.
ဧဝမ္ပိ ဒုလ္လဘတရံ ဝိဘဝေ သုလဒ္ဓါမစ္ဆေရဒေါသ ဝိရတာ ဥဘယတ္ထကာမာ,သဒ္ဓါဒိဓမ္မသဟိတာ သတတပ္ပမတ္တာဘော! ဘော! ကရောထ အမတာဓိဂမာယ ပုညံ;
පින්වතුනි! මෙසේ අතිශයින්ම දුර්ලභ වූ සම්පත් මැනවින් ලබාගෙන, මසුරුකම් නමැති දෝෂයෙන් තොරව, දෙලොවම යහපත කැමති වන්නාහු, ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් යුක්තව, නිරන්තරයෙන්ම අප්‍රමාදීව, අමෘත මහා නිර්වාණය අවබෝධ කරගනු පිණිස පින් රැස් කරන්න.